Thursday, February 9, 2012

සුදු වෙන්නෙ කොහොමද?


මං මේ ලියන සමහර දේවල් කොල්ලන්ට නෙමේ කෙල්ලන්ටත් වටීවි. ඔන්න කියන්න යන්නේ සුදු වෙන හැටි. මුලින්ම කියන්න ඕනි සුදු වෙනව කියන්නෙ ලස්සන වෙනවා කියන එකම නෙමේ. තලෙලු ඒත් ලස්සන අය ඉන්නව ඕනි තරං. තමංගෙ හම පැහැපත් නං (ලප කැලැල් අවමයි නම්) අන්න ඒකයි ලස්සනයි කියන්නෙ.  

සුදු වෙන හැටි...
පළවෙනි ‍දේ.. ඉර එළියෙන් හැකිතරම් ඉවත්ව සිටින්න. අධික හිරු එළිය නිසා ඔබේ සමේ පැහැය අවපැහැගැන්වෙනවා. එළියට යනවා නම් සන් ‍බ්ලොක් (Sunblock) එකක් පාවිචිචි කරන්න. සන්බ්ලොක් වර්ග ඕනි තරං තියනව වෙළඳපලේ ගන්න. සමහර සන්බ්ලොක් වර්ග මුහුණට වෙනම සහ අත් සහ පාද වලට වෙනම තියනව.


සන්බ්ලොක් එකක් ගන්නකොට බලන්න ඕනි ඒවයෙ මුද්‍රණය කරල තියන SPF (Sun protection factor) අගය. අගය වැඩි වෙන තරමටම හිරු එළියෙන් සම ආරක්ෂා වීමත් වැඩියි. සාමාන්‍යයන් SPF අගය 30ක් පමණ වෙන සන්බ්ලොක් එකක් ලංකාවෙ ඉන්න අපට වඩාත් හොඳයි.

ඕක තමා සුදු වෙන්න පුළුවං ලේසිම ක්‍රමේ. ඊට අමතරව ගෙදර ඉඳන් කරන්න පුළුවං ගොඩ වෙදකම් ටිකකුත් කියන්නං. හැබැයි මේ දේවල් කරනවනම්, හිරු එලියට නිරාවරනය වෙනව නම් අනිවාර්යෙන් සන්බ්ලොක් එකක් පාවිච්චි කරන්න. ‍ ගෙදර ඉන්නවනම් අඩුම ගානෙ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. මොකද දැං කියන්න යන දේවල් වලදි සමේ උඩින් තියන මැරුනු සම අයින් වෙලා යට තියන අළුත් සම නිරාවරණය වෙනවා. මොයිස්චරයිසර් එකක් පාවිච්චි කලේ නැත්තං හම රැලි ‍වැටෙන්නත්, සන්බ්ලොක් එකක් පාවිච්චි කලේ නැත්තං තිබ්බටත් වඩා අවපැහැගැන්වෙන්නත් ඉඩ තියනව.

ගෙදර සිට සත්කාර..
ලෙමන් හෝ දෙහි බෑයක් මූනේ අතුල්ලන්න. විනාඩි 15-20ක්  තියල හෝදල දාන්න. දෙහි වල තියන ආම්ලක තාවය නිසා මුහුනේ තියන පැල්ලම් අඩු වේවි. කැමති නම් ලෙමන් සමඟ මී පැණි පාවිච්චි කරන්නත් පුළුවන්.

අල ගෙඩියක් බ්ලෙන්ඩරේ දාල චප්ප කරල ඒකෙ යුෂ අරං මූනේ ගාන්න. විනාඩි 15-20ක්  තියල හෝදල දාන්න. තක්කාලි, ඉදුනු කෙසෙල්, තක්කාලි, ග්‍රීන් ටී උනත් මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්.

තවත් සමහරු මී කිරි හෝ යෝගට් පාවිච්චි කරනව. මේකත් හොඳ ක්‍රමයක් සුදු වෙන්න. මීට අමතරව සතියකට විතර වතාවක් ස්ක්‍රබ් එකක් කරන්න පුළුවං නං සමේ උඩින් තියන මැරුනු සම අයින් වෙලා යට තියන අළුත් සම නිරාවරණය කරගන්න පුළුවන් .. එත් මතක ඇතුව මොයිස්චරයිසර් හෝ සන්බ්ලොක් එකක් පාවිච්චි කරන්න.

අවසාන වශයෙන්, සුදු වෙනඑක එක දවසින් වෙන්නෙ නෑ. ඒකට මාස කීපයක් යනව. :) තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

අවුරුදු දෙකකට පස්සෙ...

අවුරුදු දෙකකට විතර පස්සෙ මට බ්ලොග් එකක් කියල එකක් තිබුන නේද කියල මතක් වුනා. :D ලොග්‍ වෙන්න පාස් වර්ඩ් එකත් මතක නැතුව තිබ්බෙ කොහෝම හරි රිසෙට් කරල ඒකත් හදාගත්ත. අවුරුදු එකහමාරක් විදේශගතවෙලා හිටිය අතරෙ අධ්‍යාපනික කටයුතු සහ රාජකාරී කටයුතු නිසා කොහෙත්ම වෙලාවක් තිබුනෙ නෑ බ්ලොග් ලියන්න. ඒත් දැං නං මං හිතන්නෙ වෙලාවක් ලැබේවි. බලමු.

මේ අතර එක්තරා වෙබ් ෆෝරම් එකක මං ලියපු පෝස්ට් එහෙම පිටිං කොපි කරල යම් කිසි කෙනෙක් තමං ලියපු දේවල් විදියට දාල තියනව කියල යාළුවෙක් ලින්ක් එකක් එ‍වල තිබ්බ. මගෙ පෝස්ට් කොපි කරල දැම්මට කමක් නෑ :) හැබැයි අඩුම ගානෙ කොපි කලේ කොහෙන්ද කියල කියනව නං ඒක ඒ කෙනාගෙන් සිදුවිය යුතු යුතුකමක්.

එහෙනං ඉක්මනින්ම පෝස්ට් එකක් දාන්නං..දැං සිංහලෙන් ටයිප් කරන්නත් අමාරුයි වගේ. :/

Wednesday, May 19, 2010

ඇඳුම් සඳහා වර්ණ ගැලපීම

ඇඳුම් අඳිනකොට වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. මොනතරම් වටින ඇඳුමක් උනත් ඒ සමඟ යොදන අනෙක් ඇඳුමේ වර්ණය සමඟ ගැ‍ලපෙන්නෙ නැත්නම් ඒ ඇඳුම ඇඳීමෙන් වැඩක් නෑ.



වර්ණ ගැලපීමේදී හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් කලර් වීල් (Color wheel) එකෙන්. උදාහරණයක් විදියට ‍රෝස පාට ටී ෂර්ට් එකකට ලා කොළ පාට කලිසමක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. Color wheel එකේ යාබද වර්ණ හොඳින් ගැලපෙන අතරෙ විරුද්ධ වර්ණ නිවැරදිව භාවිතා කලොත් ගලපගන්න පුළුවන්. ප්‍රධාන දේ මේකයි. වර්ණ ගලපන අතරෙ එම වර්ණ වලම ලා සහ තද වර්ණ අතර වෙනසක් පෙන්වන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදියට තද නිල් ඩෙනිම් කලිසමක් සහ කහ පාට ටී ෂර්ට් එකක්.

තවත් දෙයක් සාමාන්‍යයෙන් කළු, සුදු සහ අළු පාට වෙනත් ඕනෑම වර්ණයක් සමඟ ගැලපෙනවා. මේවා හඳුන්වන්නේ neutral colors ලෙස. ඔබේ ඇඳුමේ මූලික කොටස් මේ neutral colors වලට අයත් නම් දීප්තිමත් වර්ණයක් තෝරාගන්න ඔබට හැකියාව තියනවා. උදාහරණයක් විදියට කළු කබායක් සහ කලිසමකට සුදු කමිසයක් සහ රතු ටයි පටියක් ගැලපෙනවා.

මී ළඟට ඔබේ සමේ වර්ණය වැදගත්. ඔබේ සමේ වර්ණය අඳුරු නම් ලා පැහැති  දීප්තිමත් වර්ණයක් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ගොඩක් සුදුයි නම් ඉතාමත් අඳුරු වර්ණ වලට නොයා ලා පැහැති සහ මඳක් තද පැහැති වර්ණ තෝරා ගැනීම සුදුසුයි. සාමාන්‍යයෙන් සුදු කමිස හෝ ටී ෂර්ට් ඕනෑම වර්ණයක් සමඟ හොඳින් ගැලපෙනවා.

කලිසම් තෝරන විට ඉතාත්ම වර්ණවත් කලිසම් තේරීමෙන් වලකින්න. ඇඳුමක ඇස යායුත්තේ කලිසමට නෙමේ. කලිසම් සඳහා neutral colors හෝ තද නිල්, කාකි වැනි අඳුරු පැහැයට බර වර්ණ පමණක් තෝරාගන්න නිතරම උත්සාහ කරන්න.

ඒ වගේම දේශගුනය අනුව වර්ණ තෝරාගැනීමත් වැදගත්. දවසේ උෂ්නත්වය ඉතාමත් අධික නම් සුදු හෝ ලා වර්ණ ඇඟලා සිටීම ඔබේ දෛනික වැඩකටයුතු වලදී වඩාත් පහසුවක් වේවි.

වර්ණ වලට අමතරව රටා එකිනෙක ගැලපීමත් වැදගත් . මේ ගැන පස්සෙ දවසක කතා කරමු.

Sunday, May 2, 2010

කොන්ඩෙ පිළිවෙලට තියාගන්න

මා‍සෙකටත් වඩා කාලයක් සද්ද නැතුව ඉඳල අන්තිමේදි පෝස්ට් එකක් දාන්න වෙලාවක් ආව. අප්‍රේල් මාසෙ අළුත් අවුරුදු නිසා වැඩ වැඩි වෙලා තිබුනෙ. :(

මේ පාර ලිපියෙන් මම කතාකරන්න යන්නෙ කොන්ඩෙ පිළිවෙලට තියාගන්න පාවිච්චි කරන දේවල් ගැන. කෙනෙකුගෙ පෞරුෂය පෙනෙන හොඳම සාධකයක් ඒ කෙනාගෙ කොන්ඩෙ. මීට කලින් ලිපියක හෙයා ස්ටයිල් ගැන මම ලිපියක් ලිව්ව මතක ඇතිනෙ. කොන්ඩෙට කොච්චර ස්ටයිල් දැම්මත් වැඩක් නෑ ඒක හරියට පිළිවෙලකට කලේ නැත්නම් තේරුමක් නෑ.


කොන්ඩෙ පිළිවෙලට තියාගන්න ගොඩක් දෙනා ගොඩක් දේවල් භාවිතා කරනව. මේ අතර ඉතාම ප්‍රසිද්ධ ඒ ව‍ගේම බහුලව භාවිතා වෙන දෙයක් හෙයා ජෙල් (Hair Gel). රුපියල් 5 සැෂේ පැකට්ටු වල ඉඳන් රුපියල් 6-700 දක්වා හෙයාජෙල් වෙළඳපොලේ තියනව. මීට අවුරු ගානකට කලින් හෙයාක්‍රීම් බහුලව භාවිතා වුනත් දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ හෙයා ජෙල්. ඔයාල හෙයා ජෙල් ගන්නකොට මුලින්ම බලන්න ඒක තමන්ගෙ කොන්ඩෙට ගැලපෙනවද කියල. ඒක කරන්නෙ කොහොමද?

සමහර හෙයාජෙල් වර්ග වඩාත් ගැලපෙන්නෙ ස්ටයිලින් වලට (උදා- ගුඩ් ලුක්) මේවා හොඳින් ඇලවෙන නිසා කොන්ඩෙ හොඳින් ඇලවිලා හිටිනව. ඒත් තවත් සමහර ජෙල් වර්ග ආලේප කලාම කොන්ඩෙ තියෙන්නෙ බුරුල්ව. (උදා- ගැට්ස්බි) තමන්ට කොන්ඩෙ තියාගන්න අවශ්‍ය විධිය ගැන හිතල ජෙල් වර්ගය තෝරගන්න.

අනිත් දේ හෙයාජෙල් ආලේප කරන්න කලින් කොන්ඩෙ හොඳින් තෙත් කරන්න. තුවායක් අරන් හොඳින් පිහදාන්න හැබැයි තෙත ගතිය යන්තම් ඉතුරු කරන්න. එතකොට හෙයාජෙල් ඉතාමත්ම ලේසියෙන් ආලේප කරන්න පුළුවන්. ඒවගේම හෙයාජෙල් ආලේප කරල දවස අවසානයේ අනිවාර්යෙන් ඔළුව හොඳින් පිරිසිදු කරගන්න. හෙයාජෙල් එක්ක නින්දට යන එක නරක පුරුද්දක්. කොන්ඩෙ පැලෙන්න, ඉදෙන්න වගේම ගැලවෙන්න ඉඩතියනව.


තමන්ට අවශ්‍ය සැහැල්ලු ඒත් අවුල්නොවෙන ස්ටයිල් එකක් නම් හෙයාජෙල් වෙනුවට හෙයා මූස් (Hair Mousse) එකක් පාවිච්චි කරල බලන්න. මේක හෙයාස්ප්‍රේ වලට ගොඩක් දුරට සමානයි ඒත් ආලේපයක් විදියට භාවිතා කිරීම ඉතාමත්ම පහසුයි. පාවිච්චි කරන් කලින් බෝතල‍ය හොඳින් සොලවන්න. ගොඩක් වෙලාවට මූස්, ජෙල් වලට වඩා මිලෙන් අධිකයි. ජෙල් වලට වගේ මූස් වලට කොන්ඩෙ තෙත් කිරීම එතරම් අවශ්‍ය නැහැ. කෙලින්ම ආලේප කරන්න පුළුවන්.

 

මූස් භාවිතයෙන් තදින් එකට ඇළුනු නැති ඒත් හොඳ පෙනුමක් සහිත සැහැල්ලු පෙනුමක් ලබාගන්න පුළුවන්. ඒත් මතක ඇතුව දවස අවසානයේදී කොන්ඩය හොඳින් සෝදගන්න. විශේෂයෙන්ම ෂැම්පු වර්ගයක් භාවිතා කරනවානම් ඉතා පහසුවෙන් සාමාන්‍ය සේදිමකින් නොයන, සමහර මූස් වර්ගවල තියන ඇලෙනසුළු ගතිය කොන්ඩෙන් සම්පූණයෙන්ම යවාගන්න පුළුවන්.

අපි කලින් කතාකරපු ජෙල් සහ මූස් කියන දෙකම භාවිතා කරන්නෙ ඇලෙනසුළු ද්‍රව්‍ය. මේවා භාවිතයෙන් පස්සෙ අනිවාර්යෙන් කොන්ඩය සෝදාගත යුතුයි. ඒත් මීළඟට අපි කතා කරන්න යන්නෙ එහෙම කරන්න අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍යක් ගැන.

හෙයා වැක්ස් (Hair Wax) කලින් කියපු ජෙල් සහ මූස් වලට වඩා මිලෙන් අධිකයි. ඒත් හිසකෙස්වලට හිතකරයි. වැක්ස් කියන්නෙ ඉටි වගේ ද්‍රව්‍යක්. මේක කොන්ඩෙ ගාන්න ඕනෙ ඉතාමත් සුළු වශයෙන්. වැක්ස් භාවිතයෙන් ස්ටයිල් කරන්න ටිකක් අමාරුයි. ඒත් ඔබේ කොන්ඩයේ අමුතු තෙත් පෙනුම දවසම තියාගන්න මේකෙන් පුළුවන්. ජෙල් හෝ මූස් වලින් සිදුවන කොන්ඩය වියලීම මින් සිදුවන්නේ නැහැ. කොන්ඩයේ තෙල් ආලේප කලා වගේ. B-)



ඒත් වැක්ස් අධික ලෙස භාවිතා කරන්න එපා. ඊළඟට දවස අවසානයේ හිස පිරිසිදු කිරීම අනිවාර්ය නැහැ. ගොඩක් දෙනා ගෙදර යන්නෙ ගොඩක් රෑ වෙලා නිසා රෑට නාන්න කැමති නෑ. මේ වගේ අයට වැක්ස් ගොඩක් ගැලපෙනවා. ඒත් වැක්ස් එක් වරක් භාවිතයෙන් පසුව අනිවාර්යයෙන් හිස පිරිසිදු කිරීම වැදගත්.

ඔය කොයි වර්ගය පාවිච්චි කලත් ඒවා කෙස් ගසේ මුලේ (root) ආලේප නොකල යුතුයි. කෙස් ගස වර්ධනය වීමට එය බාධාවක්. විශේෂයෙන් ජෙල් සහ මූස් කෙස් ගසේ ඉහල කොටසේ පමණක් ආලේප කරන්න.

කොහොම උනත් මේ එක දෙයක් හෝ භාවිතා නොකිරීමට තීරණය කිරීමත් හොඳ දෙයක්. අනං මනං වර්ග නිතරම කොන්ඩෙ ගාන එක එච්චර හොඳ දෙයක් නෙමේ. කෙස් වර්ධනයට ඒක බාධාවක්. සමහරු කිසිම දෙයක් ආලේප නොකිරීමට තීරණය කිරීම මීට හේතුව වෙන්න පුළුවන්. ඒත් ඔබ දැඩි හිරු එළියේ යනවා නම් කුමක් හෝ තෙල් වර්ගයක් ආලේප කිරීම වැදගත්. විටමින් E අඩංගු හෙයා ඔයිල් වර්ග වෙළඳපලේ ඕනි තරම් තියනවා. ජෙල්, මූස් හෝ වැක්ස් පාවිච්චි නොකරනවානම් මේ වගේ තෙල් වර්ගයක් පාවිච්චි කිරීමෙන් දැඩි හිරු එලිය නිසා ඔබේ හිස කෙස් දුර්වර්ණ වීම, හැලී යාම සහ පැලීම අවම කරගන්න පුළුවන්. ~X(